නාවලගේ බෙනට් කුරේ පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කරයි


(තිළිණි ද සිල්වා)

හිටපු අමාත්‍යවරයෙකු වන නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කරනු ලැබූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

එම පත්වීමට අදාළව බෙනට් කුරේ මහතා පලස්තීනයේ රමාල්ලාහි පිහිටි විදේශ කටයුතු හා විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශයේ දී පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය රියාද් අල්-මල්කි මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වු බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්පසුව පලස්තීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමඟ පැවති දීර්ඝ කාලීන සබඳතා අගය කළ අතර, විශේෂයෙන් පලස්තීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සංවර්ධන ව්‍යාපෘති සහ “බීටූනියා හි මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය” ශ්‍රී ලාංකික ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා පලස්තීනය උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකා නියෝජිත හමුවේ කියා සිටියේය.

එහිදි පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කුරේ මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‌ගේ සුබ පැතුම් පලස්තීන් විදේශ අමාත්‍යවරයා වෙත එක් කරමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ කැපවන බව සදහන් කළේය.

පවතින ගෝලීය වසංගතය හේතුවෙන් මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා ටික කලක් ගත වන බව බෙනට් කුරේ මහතා පෙන්වා දුන්නේය.

පලස්තීනය පිළිබඳ ගැටළුව සහ පලස්තීන ජනතාව පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකා රජය දක්වන සහයෝගය සහ ස්ථාවරය පිළිබඳව අල්-මල්කි අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.