නාලකගෙන් - රයන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රශ්න කරන්න අවසර


(නිමන්ති රණසිංහ)


මාතර බන්ධනාගාරයේ රදවා සිටින රංගන ශිල්පී රයන් වැන්රෝවන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක කෞෂාල් ද සිල්වා යන අයගෙන් බන්ධනාගාරය තුළට ගොස් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (23) බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (23)  අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
 
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා යන අය ත‍්‍රස්තවාදී පනත ප‍්‍රකාරව චෝදනා ගොනුකරනවාද නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබාදීම ලබන මැයි මස 07 වැනිදා තෙක් කල් තැබූ අධිකරණය එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.