නාරංගල කන්දේ අතරමං වූ පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුමක්


(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්) 

බදුල්ල නාරංගල කන්ද  තරණය කළ 22 දෙනකු පමණ වන සංචාරක කණ්ඩායම් තුනක් අද (04) සවස අධික වර්ෂාව හා දැඩි සුළඟ මධ්‍යයේ දැඩි  අවදානමකට ලක්වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 

මෙම පිරිස මුදවා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවී ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.

වර්ෂාව දැඩි සුළඟ හා දැඩි ශීතල ඔවුන් දැඩි අපහසුතාවයට පත්කර ඇති බවද ඔවුන් සමග මේ වනවිට දුරකථන සම්බන්ධතා පවත්වා ගනිමින් සිටින බවද කණ්ඩායම් තුන මේ වන විට තනි කණ්ඩායමකට ගොනුකර සම්බන්ධතා පවත්වා ගනිමින් සිටින බවද බදුල්ල  ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය. 

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ හා වැඩිහිටි කණ්ඩායම් මේ අතර සිටින බවද ඔවුන් කූඩාරම් ගසා (කෑම්පින්) විනෝද වීම සඳහා කඳු මුදුනට නැග ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.