නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර


 

(රංජිත් රාජපක්ෂ)                        

ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින්  ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉවත් කිරීමට ව්‍යාපාරිකයින් දැනුවත් කළ බව ගිනිගත් හේන පොලිසිය පවසයි.


ප්‍රධාන මාර්ගයට මායිම්ය මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් පිහිටි මෙම වෙළදසැල් 52 ක මිට වසර කිහිපයකට ප්‍රථම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවධානම් කලාපයක් බවට හදුනාගෙන එම වෙළදසැල් වලින් ඉවත් වන ලෙස 2004 වසරේ සිට අවස්ථා කිහිපයකම ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබිණි.


වෙළදසැල්   ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ ලක්ෂණ මතු කරමින් ඉරිතලා ඇත.


එම වෙළදසැල් 52 වෙනුවට ගිනිගත්හේන බස්නැවතුම්පොලේ අළුතින් වෙළදසැල් ඉදි කර දෙන බවට අවස්ථා කිහිපයකදි රජයේ බලධාරින් තමන්ව දැනුවත් කළත් ඒ වෙනුවට මෙතෙක් වෙළදසැල් ඉදිකර නොමැති නිසා එම වෙළදසැල් ඉදි කර තමන්ට ලබාදෙන තෙක් තම ව්‍යාපාරික ස්ථාන හැර යාමට නොහැකි බව වෙළදසැල් හිමියෝ පවසති.