නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)


හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි විත්තිකාරියක වන පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම මහත්මියගේ දරුවා ඩෙංගු වැළදී රෝගීව ප‍්‍රතිකාර ලබන්නේ යැයි කියමින් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.


2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


දුෂණ විරෝධී පෙරමුණේ  කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට  අනුව කරන ලද විමර්ශනයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.


පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම ගුවන් සේවිකාවක් වු නිත්‍යා  සේනානී  සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.