නාමයෝජනා පෙත්සම් විභාගය 24ට කල් යයි


(මනෝප්‍රිය ගුණසේකර)

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මහරගම නගර සභාව ඇතුළු ප්‍රාදේශිය සභා හා පළාත් පාලන ආයතන 14ක් වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම් 14 ලබන 24වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද(19) තීන්දු කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන මහත්වරු නඩුව විභාග කළ අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වී ඇති බවයි.