(තිලිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙසත් , මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස ජනාධිපති , අගමැති , හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අද( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
නීතිඥවරයෙකුව සිටියදී වසර තුනක තහනමකට ලක්ව සිටින හා පරම මහජන අයිතිය රැකීමේ කියාකාරියෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොලිස්පති පූජිත ජයසුන්දර, නීතිපතිවරයා සහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත්දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කලින්ම රජයට තොරතුරු වාර්තා කර තිබූ බවයි.
එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රජය දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
රජයේ මෙම ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිටියේය.
වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස සැබෑ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

