එෆ්.අස්ලම්
මොලයේ නහරයක් පිපිරීමෙන් මියගිය අයෙකුගේ වකුගඩු යුගලය තවත් ජීවිත දෙකක් බේරාගැනීම වෙනුවෙන් දන්දුන් කතා පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා විය.
පසුගියදා (20) මියගිය බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ පදිංචිව සිටි විදුරංග කුමාර (50) මහතාගේ වකුගඩු දෙකම ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වෙනත් රෝගීන් දෙදෙනකුට පරිත්‍යාග කර ඇත.
දැඩි හිසරදය සමගින් ඇතිවූ රෝගී තත්වයක් මත කුමාර මහතා දැඩි අසාධ්‍ය තත්වයෙන් (17) වැනි දා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
අධික රුධිර පීඩනය නිසා ඔහුගේ මොලයේ නහරයක් පුපුරා ගොස් ඇති බව තහවුරු කරගත් වෛද්‍යවරුන් කෘත්‍රිම ස්වසන යන්ත්‍රවලින් ස්වසනය ලබාදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට විශාල වෙහෙසක් දැරුහ. එම උත්සහායන් ව්‍යර්ථ විය.මේ අනුව වෛද්‍යවරුන් ඔහුගේ තත්වය ගැන පවුලේ ඥාතීන් දැනුවත් කළහ.
ඔහුගේ ශරීර අවයව දන්දී තවත් ජීවිතයක් බේරා ගැනීමට පවුලේ ඥාතීන් විසින් කැමැත්ත පලකර සිටියේ ඒ අනුවය.
මේ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජොයෙල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බදුල්ල මහ රෝහලේ ශල්‍යාගාරයේදී පසුගියදා(20) මියගිය අයගේ වකුගඩු යුගලය සාර්ථකව ඉවත් කර ගන්නා ලදි.
යමෙකු මිය යාමේදී ඔහුගේ ශරීර අවයවයන් තවත් ජීවිතයක් බේරාගැනීමේ පරමාර්ථයෙන් ශරීර අවයව පරිත්‍යාග කිරීම සමාජයට ආදර්ශයක් බවත් මියගිය විදුරංග මහතා වෙනුවෙන් ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් කල මෙහෙය අගය කරන බවත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු පවසති.