නවාස් ෂරීෆ් අසනීපෙන්


ලාහෝර්හිදීය (රොයිටර්)
 
සිර දඬුවම් ලබන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් කඩිනමින් රෝහල් ගත කරන ලෙස බන්ධාගාර වෛද්‍යවරුන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.  
 
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව පාකිස්තාන රජයේ නිලධාරියෙක් ද අද (29) පැවැසීය.
 
පැනමා පත්‍රිකාවලින් හෙළි වූ කරුණු, එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවරින් සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීම ආදි දූෂණ චෝදනාවලට වරදකරු කරමින් නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක් පැනවීමට පාකිස්තාන අධිකරණයක් ඉකුත් (6) වැනිදා පියවර ගත්තේය.  
 
ඉකුත් පෙබරවාරී මාසයේදී නඩු තීන්දුවක් දෙමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කරමින් ඔහු දේශපාලනය කිරීමට නුසුදුස්සෙක් බවට පත් කළේය. ඒ අනුව ඔහුට ඉකුත් දා (25) පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද නොහැකි විය. 
 
නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට ගැනුණේ ජූලි 13 වැනිදාය. රාවල්පිණ්ඩි හි අදියලා බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින නවාස් ෂරීෆ්ගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් අවදානමක් ගත නොහැකි බවත් ඔහු කඩිනමින් රෝහල් ගත කළ යුතු බවත් වෛද්‍යවරුන් පවසා ඇත.