නවාතැන් හිමිකරුගේ පහරින් සරසවි සිසුවිය රෝහලේ


(ඩී.කේ.රත්න)
 
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල සම්පත් කළමණාකරන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඇය  නවාතැන් ගෙන සිටින ස්ථානයේ හිමිකරු පහර දුන්නේයැයි පැමිණිල්ලක් කර ඇතැයි  බදුල්ල පොලීසිය පවසයි.
 
ශිෂ්‍යාව මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතයි අද (15)  බදුල්ල පොලීසිය පැවසීය.
 
මෝදර ගිංතොට ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක ශිෂ්‍යාවක් මෙම නවාතැන් හිමිකරු විසින් පහරදීම නිසා  බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
 
මෙම ශිෂ්‍යාව නවාතැනට පැමිණෙන විට රාත‍්‍රිය වන බව පවසා නවාතැනෙහි හිමිකරු විසින් මෙම ශිෂ්‍යාවට නවාතැනෙන් පිටවන ලෙස  පවසා තිබේ.
 
නවාතැනෙන් පිටවීමට නම් තමා විසින් නවාතැනේ රැදවුම් මුදල් ලෙස ලබාදී ඇති රුපියල් පන්දහසක මුදල ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේදී මෙම පහරදීම සිදු කර ඇතයි මෙම ශිෂ්‍යාව බදුල්ල පොලීසියට පැමිණිලි කර ඇත.
 
මෙම ශිෂ්‍යාවට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතයි බදුල්ල පොලීසිය පවසයි. බදුල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.