නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට සියල්ල සූදානම්


(ඩයනා උදයංගනී)

නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) පස්වරුවේ සිදුකෙරෙන අතර එම උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු අද (19) පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) පස්වරු 3.00 ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට  නියමිතය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලි‍මේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත අචාර දැක්වීමක් සිදු කෙරේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතය.

මෙම උත්සවය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පාසල් සිසුවියන් අද දවස පුරා පාර්ලිමේන්තුව පරිශ්‍රයේ සිට පෙර පුහුණුවීම්වල නිරත වනු ද දක්නට ලැබිණි.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට පෙරාතුව හෙට (20) පෙරවරු 9.30 ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ වන අතර, එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1ට අනුකූලව කාතානායකවරයා තෝරා පත්කර ගැනීමත්, අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීමත් සිදුවේ.

නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ද ඉන් අන්තුරුව සිදුවේ.

පාර්ලිමේන්තුවේ අද (19) දින පෙරපුහුණුවීම් සිදුකළ ආකාරය ඡායාරූපවල දැක්වේ.