නවගමුව නාන තොටුපලේ දිය නෑමට ගිය අයෙකු අතුරුදන්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කැළණි ගඟේ නවගමුව නාන තොටුපලේදී දියේ ගිලුනු තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදන් වී ඇති අතර අනෙක් තරුණයා ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරා ගෙන රෝහල් ගත කර ඇතැයි නවගමුව පොලිසිය කියයි.
 
සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ උඩුගම්පොළ කෙසෙල්බද්දර පදිංචි සමිත් අනුරාධ නැමැති 32 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
 
මහියංගනයේ පදිංචි කසුන් තරංඟ නැමැති 29 හැවිරිදි තරුණයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතාකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබේ.
 
බියගම සියඹලාපේ නේවාසිකාගාරයක වෙසෙන තරුණයන් පස් දෙනෙකු අද (03) සවස දිය නෑම සඳහා  නවගමුව නාන තොටුපල කරා පැමිණ සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
 
දියේ ගිලි අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා පොලිසිය,ප්‍රදේශවාසීන් හා නාවික හමුදා කිමිදුම්කරුවන් මෙහෙයුමක් දියත් කළද අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවැසීය.