නවක වදයට එරෙහිවූ දෙදෙනකුට පහර දෙති


(ජේ.ඒ.එල්.ජයසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසු පිරිසකට විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ නවක වධයට පක්ෂපාතී සිසු පිරිසක් විසින් පහර දෙනු ලැබීම නිසා විද්‍යා පීඨ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

අම්පිටිය හා හාරගම පදිංචි තෙවැනි වසරේ සිසුන් දෙදෙනකු එසේ රෝහල් ගත කරනු ලැබ ඇති අතර විශ්ව විද්‍යාල රග්බි ක්‍රීඩා පිටිය අසලදී එම ගැටුම ඇතිවී තිබේ.

ගැටුම සම්බන්ධයෙන් උපකුලපති මහාචාර්ය උපුල්.බී.දිසානායක මහතාගේ අධීක්ෂණය මත විශ්ව විද්‍යාල විනය පාලක සභාව හා ආරක්ෂක අංශය එක්ව පරීක්ෂණයක් පවත්වනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.