නවක වදය නිසා වව්නියා මණ්ඩපයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමයි


(රොමේෂ් මධුෂංඛ)


යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ දෙවන වසරේ ව්‍යවහාරික විද්‍යා අංශයේ  සිසුන් විසින් නවක සිසුන්ට බරපතල අයුරින් නවක වදය ලබා දීම හේතුවෙන් දෙවැනි වසර විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට වව්නියාව මණ්ඩපයේ පරිපාලනය විසින් පියවර ගෙන ඇත.


ව්‍යවහාරික විද්‍යා අංශයේ දෙවන වසර සිසුන් පිරිසක් විසින් පසුගිය 22 වනදා නවක සිසුන් 25 දෙනෙකුගේ හිස මුඩු කොට ඔවුනට බරපතල අයුරින් නවක වදය ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව මණ්ඩපයේ පරිපාලනය සිදු කළ පරික්ෂණයකින් අනතුරුව අදාල සිසුන්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමටත් එතෙක් විද්‍යා අංශයේ දෙවන වසර වසා දැමීමට පියවර ගෙන තිබේ.


එමෙන්ම දෙවන වසරේ සිසුන්ගේ නේවාසිකාගාරද වසා දැමීමට පියවර ගෙන ඇති අතරම නවක වදය ලබා දුන් සිසුන් සියුලු දෙනාගේ පංති තහනම් කොට ඔවුන්ට එරෙහිව විධිමත් විනය පරික්ෂණයක් සිදු කිරීමටද වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇත.