නවක වදය දුන් පේරාදෙණි කෘෂි පීඨ‍යේ 15කට පන්ති තහනම්


(ජේ.ඒ.එල්. ජයසිංහ)

පේරාදෙණිය කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකුට  විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයකදී අමානුෂික ලෙස නවකවදය  දීමේ  සිද්ධිය සම්බන්ධයෙන්  එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනකුට වසර තුනක පන්ති තහනමක් පනවනු ලැබ ඇත.

විශ්වවිද්‍යාල විනය මණ්ඩලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් පසු ලබාදුන් නිර්දේශ මත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පංති තහනම් කරන ලිපිය සිසුනට නිකුත් කර ඇත.

පසුගිය 2017 පෙබරවාරි මස 19 වන දින දොළුව මෙගොඩකළුගමුව ප‍්‍රදේශයේ පාළු නිවසක් රුපියල් 10,000ක මාසික කුලී පදනම මත ලබාගෙන සැකකාර සිසුන් 15 දෙනා විසින් නවක සිසුන් එතැනට බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරුවත් කර නවකවදය ලබාදුන් බව සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

නවකවද සිද්ධියට සම්බන්ධ සැකකාර විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතියි. සැකකාර සිසුන් මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වනවිට අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ලබාදුන් පංති තහනම් කිරීමේ දඬුවමට එරෙහිව සිසුන් 15 දෙනා විසින් අභියාචනාවක්ද ඉදිරිපත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවසීය.