
(*** අජන්ත කුමාර අගලකඩ සහ *** හර්ෂණ තුෂාර සිල්වා)
මහත් ආන්දෝලනයට ලක්වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පෙරවරුවේ පැවැති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ හා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ කැබිනට් සංදේශය පළමු කැබිනට් රැස්වීමටම ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ එක් ධුර කාලයක කාල සීමාව වසර පහකට සීමා කෙරෙන අතර ජනාධිපතිවරයාට එම තනතුර දැරිය හැකි වාර ගණන දෙකකට පමණක් සීමා කෙරේ.
මෙම වගන්ති දෙක 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ ද ඇතුළත්ව තිබිණි.
ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයාට යොමු කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
එම කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම රජයේ ප්‍රමුඛම කාර්යයක් ලෙස සලකා සිදු කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පසුගිය ආණ්ඩුව සමයේ ගෙන ආ 19 වන සංශෝධනයෙන් ජාතික ආරක්ෂාවට, ආර්ථික සංවර්ධනයට මෙන්ම රටේ සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි ලෙස බලපෑම් කර ඇති බැවින් එය වහා අහෝසි කළ යුතුය යන්න රජයේ අදහස වේ.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමත් මෙවර මහ මැතිවරණයේදී අණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවීමත් මත ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා කළ යුතුය යන්න රජයේ ස්ථාවරය වී තිබේ.

