නව වසර උදාවත් සමඟ අනතුරු වලින් 512 ක් රෝහලට


 
(ඉන්දිකා රාමනායක)

2018 නව වසර උදාවත් සමඟ විවිධ අනතුරු වලට ලක් වු පුද්ගලයින් 512 දෙනක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව  කොළඹ ජාතික රෝහල කියයි.

මෙම පිරිස අතරින් පුද්ගලයින් 194 දෙනක් නේවාසික ප‍්‍රතිකාර ලබන බව හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය.

සෙසු අනතුරු අතර මාර්ග අනතුරු වලින් පුද්ගලයින් 117 දෙනකු ද,  නිවෙස්වල අනතුරුවලින් 68 දෙනකු ද,  වැටීමෙන් 161 දෙනකු ද,  හිංසන කි‍්‍රයාවලින් 42 ද,  රතිඤ්ඤා අනතුරු වලින් 12 වශයෙන් අනතුරු  වාර්තා වී ඇති බවද ඇය කීවාය.

2017 වසරේ වාර්තා වී ඇති සමස්ත අනතුරු ප‍්‍රමාණය 479 ක් වන අතර එය මෙවර හා සැසදීමේ දී සියයට 6 ක වැඩි වීමකි.

මාධ්‍ය හරහා කොතෙකුත් දැනුවත් වීම් කළ ද පසුගිය වසර වඩා මෙවර  අනතුරු වල සුළු වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණි පුෂ්පා රම්‍යානි  මෙනවිය පැවසුවාය.  

බොහොමයක්ම අනතුරු සිදුවන්නේ පුද්ගලය හේතු සාදක මත බවත්  පුද්ගලව හේතු සාදක අවම කිරීමට හැකියාව ඇතිනම් අනතුරු ද අවම කර ගැනීමට හැකියාව ඇති බවද   ඇය සඳහන්  කළාය.