නව පාර්ලිමේන්තුව අද උත්සවශ්‍රීයෙන්


ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

අගෝස්තු මස 17 වැනි දින පැවති මහ මැතිවරණයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු සැසිවාරය ආරම්භවීමට පෙර අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ දී රැස්වී කතානායක, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති පත්කැර ගනිති.

මෙවර පාර්ලමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 95ක්, දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරු 16, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනෙක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් හා ඊ.පී.ඩී.පී. සංවිධානයෙන් මන්ත්‍රීවරයකු බැගින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

නව පාර්ලිමේන්තුවේ විශේෂත්වයක් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තනි පක්ෂයකට හිමිව නොතිබීම හා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ගිවිසුම්ගතව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමයි.

පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාවේ එහි ආසන වෙන්කැර ඇත්තේ ජනාධිපති, අගමැති හා දැනට දිවුරුම් දී සිටින අමාත්‍යවරු තිදෙනා වෙනුවෙන් පමණි. අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කතානායකවරයකු තෝරාගැනීමට නියමිතය. කතානායකවරයා තෝරාගන්නා තුරු පාර්ලිමේන්තු සභා ගර්භයේ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙන්නේ කතානායකවරයා තෝරාගැනීමෙන් අනතුරුවය. පසුව නියෝජ්‍ය කතානායකවරයකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු තෝරාගනිති.

නැවත පාරේලිමේන්තුව අද සවස 3.00ට රැස්වන අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව සැසිවාරය ආරම්භ කරමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි.

පාරේලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් සළසා ඇති අතර දියවන්නා ඔයේ සිට රාජගිරියේ පොල්දූව දක්වා ජාතික කොඩිවලින් සරසා ඇත. ජයමංගල ගාථා සහ මගුල් බෙර වාදනය කරමින් සම්ප්‍රදායානුකූලව මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කැර ඇත.