නව පත්වීම් වල⁣ට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය


(බන්දුල ඉලේපෙරුම)

රජයේ අමාත්‍යාංශ 04ක ලේකම්වරුන්ගේ, නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ සහ සිෂෙල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරනු ලැබූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

එහිදී නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජේ.එම්.ජේ.පී. බණ්ඩාර මහතාත් සහ සීෂේල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතාත් අනුමැතියට ලක් වී තිබේ.

මෙයට අමතරව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මාපා පතිරණ මහතාත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.අයි.රත්නායක මහත්මියත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුරාධ විජේකෝන් මහතාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාත් අනුමත කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභාවේ රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිළ, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික්‍රමනායක සහ මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරු සහභාගී වූහ.