නව නීතිපති සංජය රාජරත්නම් දිවුරුම් දෙයි


(සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 26 )පස්වරුවේ දිවුරුම් දුන්නේය.

රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයාය.

නීතිපති ධූරයේ මෙතෙක් කටයුතු කළ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එම ධූරයෙන් පසුගිය 24 වැනිදා විශ්‍රාම ලැබුවේය.

ලිවේරා මහතාගේ සේවා කාලය අවසන් වීම නිසා නීතිපති තනතුර සඳහා සංජය රාජරත්නම් මහතාගේ නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සභාවට යෝජනා කරනු ලැබීය.

ව්‍යවස්ථාදායක සභාව එම නාමය පසුගියදා අනුමත කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34 තිස් හතරකට වැඩි කාලයක් සේවය කර ඇති රාජරත්න මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ,නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්, අතිරේක සොලිස්ටර් ජනරාල් , ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන්ද පසුගිය කාලයේදී හොබවා ඇත.

ඔහු ජනාධිපති නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේ 2014 නොවැම්බර් මාසයේදී ය.

සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කාලයක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධූරය හෙබ වූ අතර ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළේය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවන රාජරත්නම් මහතා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇත . ඔහු එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙක්ද වෙයි.

නව නීතිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.