නඩු ලක්ෂ හයහමාරක් අධිකරණයේ ගොඩගැහිලා


(විනීතා එම් ගමගේ)

අධිකරණවල මේ වනවිට නඩු 6,50,000ක් පමණ වූ ගොඩගැසී ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවැසුවාය.

නඩුවල පැටලෙන සාමාන්‍ය ජනතාව විශාල අපහසුතාවයකට පත් වීමෙන් වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව නව වසරේ අවධානය යොමු කරන බවත් එම ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරිය කීවාය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ නව වසරේ අධිකරණ අමාත්‍යංශයේ රාජකාරි කටයුතු අරඹමින් කාර්ය මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දීය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.

‘‘ නඩුවකට පැටලූණාම සාමාන්‍ය පුද්ගලයෙක් විශාල අපහසුතාවයකට පත් වෙනවා. අපි ඒ පිළිබදව අවධානය යොමු කරලා වැඩ කළ යුතුයි. නව වසරේ විශාල වැඩ කොටසක් තිබෙනවා. පසුගිය වසරේ අවසන් මාස කිහිපය තුළ අපි විශාල වැඩ කොටසක් කළා. ඒ සදහා හිටපු ලේකම්තුමා ඇතුළු ඔබ සියලූම දෙනා උපරිම සහයෝගය දැක් වුවා. මේ වසරේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අපි අතරේ ජාති ආගම් කියලා කිසිම බෙදීමක් තිබෙන්න බැහැ. තම තමන්ට පුද්ගලික වු ආගමක් ජාතියක් දේශපාලන පක්ෂයක් තිබෙන්න පුළුවන්. නමුත් අපි අධිකරණ අමාත්‍යාංශය තුළ රාජකාරී කටයුතු කිරීමේදි එකතු වෙලා කටයුතු කරන්න  ඕන. අපි හොදින් හිටියොත් අපේ මනස හොදින් වැඩ කළොත් අපි අතරින් යහපත් සිතිවිලි සමාජ ගත වුණොත් එය අපේ හෙට දවසේ රටේ අනාගතය සාර්ථක වීමට හේතු වෙනවා. ඒ නිසා නව වසරේ වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව කටයුතු කිරීමට සියලූ දෙනාට ශක්තිය ධෛර්යය ප‍්‍රාර්ථනා කරනවා‘‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.