ධීවර සම්පත් සහ සාගර පරිසර පද්ධති පර්යේෂණයක්



 
සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වේජියානු ආයතනයට අයත් පර්යේෂණ නෞකාව අනිද්දා (ජූනි 24) ජූලි 16 වැනි දා දක්වා ධීවර සම්පත් සහ සාගර පරිසර පද්ධති සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ ‘නැන්සෙන් වැඩසටහන’ යටතේ මෙම සමීක්ෂණ සහ පර්යේෂණ වැඩසටහන ආරම්භ කර තිබේ. නෝර්වේ රාජ්‍යයේ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයකු වන ‘ආචාර්ය ෆිජොෆ් නැන්සන්’ගේ නමින් නම් කර තිබෙන මෙම නෞකාව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වේජියානු ආයතනය සහ සමුද්‍ර පර්යේෂණ සඳහා නෝර්වේජියානු ආයතනය ඒකාබද්ධව මෙහෙයවන්නකි. 
 
මෙම පර්යේෂණ නෞකාව අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1979-1980 කාලවකවානුවේදීය.  ‘ආචාර්ය ෆිජොෆ් නැන්සන්’ නෞකාව පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් වෙතින් ගමන් ආරම්භ කරමින් පර්යේෂණ පැවැත්වූ අතර ශ්‍රී ලංකාව සමඟ පර්යේෂණ පැවැත්වීමෙන් පසුව බෙංගාල බොක්ක, බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ පර්යේෂණ පවත්වන අතර ලබන ඔක්තෝබරයේ දී තායිලන්තය සමඟ පර්යේෂණ පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවට අයත් සාගරයේ කෙරෙන පර්යේෂණ සහ සමීපක්ෂණ කටයුතුවලට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ විද්‍යාඥයන් 17 දෙනකු, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ  ජලමාන පර්යේෂකයන් පිරිසක් එක්වීමට නියමිතය.  
 
මෙම පර්යේෂණ නෞකාව 2007 වසරේ සිට කරන ලද පර්යේෂණවලට පර්යේෂකයන් 360කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ. එම පර්යේෂණවලදී ඊට සහභාගී වූ රටවලට දත්ත එකතු කිරීම, නියැඳි ක්‍රම ඇතුළු බොහෝ දෑ සම්බන්ධයෙන් වටිනා අත්දැකීම් රැසක් ලබාදීමට නෞකාව සහ එහි පර්යේෂකයන් කටයුතු කර තිබේ. 


 
055