ප්‍රසාද් මුතුකුඩ
මෙරට විදේශ රැකියා නියොජිතයකු මාර්ගයෙන් දකුණු අප්‍රිකාවේ ධීවර රැකියාවන් සඳහා ගොස් සෝමාලියා ලෑන්ඩ් දූපතේ අතරමංව සිටි ශ්‍රී ලාංකික 12 දෙනෙකු ඉතියෝපියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය මත අද (31) අලුයම දිවයිනට පැමිණියහ.
මෙලෙස පැමිණි පිරිස හම්බන්තොට, තංගල්ල පදිංචිකරුවෝ වෙති.
එක්සත් ජාතින්ගේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ නිළධාරින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණ මෙම පිරිස භාරගෙන පසුව විදේශ සේවා නියුක්ති කාර්යංශයට යොමු කර එම පිරිසට ඔවුන්ගේ නිවෙස් වලට යෑමට කටයුතු සලසා තිබිණි.
දකුණු අප්‍රිකාවේ වැඩි වැටුප් සහිත ධීවර රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ලක්ෂ ගණනින් මුදල් රැගෙන පසුව සෝමාලියාවට අයත් දූපතකට රැගෙන ගොස් ආහාරපාන, වැටුප් ලබා නොදී මාස ගණනක් ධීවර කටයුතුවල යෙදවු බවත් සිද්ධියට අදාළ වංචාකාර විදේශ රැකියා නියෝජිතයා තමන් ඇතුළු පිරිස එම දූපතේ අතරමං කළ බව විදෙස් රැකියාවකට ගොස් අනාථව පැමිණි ලාංකිකයකු ගුවන්තොටුපළදී කීය.