ධර්මලිංගම් ත්‍රස්තවාදයට එරෙහි නව පනත පරාජය කිරීමට සූදානම් වෙයි


(සිරාජ් හසීම්)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හා ත්‍රස්තවාදයට එරෙහි නව පනත පරාජයට පත් කිරීම සදහා සුළු පක්ෂ සමගින් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවත් මෙම සාකච්ඡා ඉදිරි සතියේදීම ආරම්භ කරන බවත් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.

මේ අනුව උතුරු,නැගෙනහිර හා වතුකරයේ සියළුම සුළු දේශපාලන පක්ෂ සමගින් සාකච්ඡා කරන බවද සිද්ධාර්ථන් මහතා කීවේය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සියළුම පක්ෂ අතර පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී පක්ෂ නියෝජිතයින් මෙම තීරණයට එකඟ වී තිබේ.

මෙරට තුළ යුද්ධයක් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් මෙනිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් හෝ ත්‍රස්තවාදයට එරෙහි පනතක් රටට අවශ්‍ය නැති බවත් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය යැයි  සිද්ධාර්ථන් මහතා  කියයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, මුස්ලිම් ජාතික කොංග්‍රසය,දෙමළ ප්‍රගතිශීලී සන්ධානය,ලංකා කම්කරු කොංග්‍රසය ආදී උතුරු නැගෙනහිර සහ කඳුකරයේ සියළුම දේශපාලන පක්ෂ සහ වෘත්තී සමිති සමගින් සාකච්ඡා කරන බවද කීය