ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්


(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා 'ලංකාදීප'යට අද (6) පෙරවරුවේ පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බවත් ඒ හේතුවෙන් ඔහු පළමුවෙන්ම පොලිස් භාරයෙන් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයට ලක්ව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටී ධනුෂ්ක ගුණතිලක රාත්‍රී සමාජ ශාලාවකදී හඳුනාගත් තරුණියක් සමග ඇයගේ නිවසට ගොස් ඇති බවත් ඔහු එහිදී තරුණිය සමඟ ගතකර නැවත පිටව ගොස් ඇති බවත් පැවසේ.

ඔහු පසුව ඇයගේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය සිඩ්නි පොලිසියට ධනුෂ්ක ඇයව දූෂණය කළ බවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව සිඩ්නි පොලිසිය ඊයේ (5) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගත් බවත් ඕස්ට්‍රේලියාවේ ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සඳහන් වේ.

සිඩ්නි පොලිසිය මේ වන විට ධනුෂ්කගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් අදාල තරුණියගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් ‍ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු සඳහන් කළේය.

එම කටයුතු වලින් පසුව ධනුෂ්ක ගුණතිලක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලකට මීට පෙර ද සංචාරයක් අතරතුරදී ශ්‍රී ලංකාවේදී මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනාවට ඔහු මාස කිහිපයක තහනමකට ලක්විය.

ධනුෂ්ක ගුණතිලක මීට පෙරද විනය චෝදනා රැසක් එල්ල වූ ක්‍රීඩකයෙකි.

 

-------------------------------------------------------

7.24

20 විස්ස ලෝක කුසලානය සහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සිඩ්නි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි වන්ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

ලෝක කුසලානයට සහභාගී වී සිටි මෙම ක්‍රීඩකයා අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් වූවත් දිගටම සංචිතයේ රැඳී සිටියේය.

කාන්තාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ලිංගික චෝදනාවක් සිදු කිරීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට සිදු වූ බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් ක්‍රීඩකයා නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව වන්ඉන්දියා වෙබ් අඩවිය පවසයි.