දෝෂාභියෝගෙන් ආයෝජනේට බලපෑම්


විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපතය්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු  අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළීමට ඉඩ ඇති හෙයින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මාතර දී ප්‍රකාශ කළාය. මාතර දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ රැස්වීමකදී ඈ එසේ කීවාය.

ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය බෙදීමේ පිළිබඳ  ප්‍රශ්නද ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට එහි බලපෑමේ ඌණතාවක් පැවතීම ද දෝෂාභියෝගයෙන් පෙනන බව ද ඇය කීවාය.

ශක්තිමත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මහජනයාගේ හා රජයේ අවශ්‍යතා ඉටුකරන ශක්මත් හා කාර්යක්ෂම නීති පද්ධතියක් තිබිය යුතු යැයි ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළකට ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය ඇමෙරිකා ඩොලර් ලක්ෂ 45ක් රුපියල් (රුපියල් කෝටි 57.6) වැය කරන බව ද ඈ පැවසුවාය.