දොස්තර ලෙඩුන් බලයි


රාගම රෝහලේ වෛද්‍යවරයකුගේ මෝටර් රථයෙන්  කොළඹ පෞද්ගලික රෝහලක නතර කැර තිබිය දී රුපියල් 126000ක්  සොරා ගත් බව කියන කොළඹ පෞද්ගලික රෝහලක සාත්තු සේවකයකු (21) සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

එම වෛද්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ද සේවය කරන බවත්, එම පෞද්ගලික රෝහලේ වාහනය නවතා තිබිය දී කාලයක සිට වාහනයේ තිබෙන මුදල් නැති වෙන බවත්, දින කිහිපයකට පෙර එහි තිබූ 126000ක් ද නැති වූ බවත් කියමින් වෛද්‍යවරයා පෙරේදා (12) පොලිසියට පැමිණිල්ලක් කළේය.

රෝහල් කාමරයේ මේසය මත මෝටර් රථයේ යතුර තබා දැඩිසත්කාර ඒකකයට ගිය බව ද, නැවත එද්දී යතුර නොතිබූ හෙයින් රෝහල් රථගාලට ගොස් මෝටර් රථය පරීක්ෂා කරද්දී එය යතුරු දමා තුබූ පරිදිම තිබුණු බව ද, නැවත කාමරයට යද්දී යතුර මේසය මත   තිබුණු බව ද වෛද්‍යවරයා පොලිසියට කියා ඇත.

කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන අරඹා රෝහලේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.

රෝහලේ රථගාල අසළ කැමරාවක සටහන්ව තිබුණේ රෝහලේ උපස්ථායකයකු ලෙස සේවය කරන තරුණයකු එම මෝටර් රථය අසළට දිව විත්   එහි පිටුපස සහ ඉදිරිපස දොරවල් විවෘත කර යමක් සොයා දිව යන ආකාරයයි.

ඒ අනුව වෛද්‍යවරයා ද දැනුම්වත් කර අද (12) සවස එම සාත්තු සේවකයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර තරුණයා සොරා ගත් බව කියන මුදලින් යතුරු පැදියක් මිලදී ගත් බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ පවත්වයි.

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාලන් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මධුමාල් ගමගේ, පොලිස් කොස්තාපල්වරුන් වන 84244 රත්නායක, 70031 අසංක සහ 70337 සම්පත් යන මහත්වරු විමර්ශන පවත්වති.