උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මක භාවය හා එහි ඇතැයි කියන දෝෂ ගැන විමර්ශනයට විද්වත් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ දී අද (12) තීරණය විය.
එම කමිටුවට මහාචාර්යවරුන් තිදෙනකු සහ හිටපු විභාග කොමසාරිස්වරයකු පත් කරන්නටත්, ඔවුන්ගේ නිගමන අනුව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නිකුත් කිරීමටත් අද සියලු පාර්ශ්ව එකඟ වූ බව මානව හිමිකම් කොමිසම කියයි.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇතැයි කියමින් ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විභාග කොමසාරිස්ට යැවූ ලිපියක් පදනම් කර ගනිමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ දී මානව හිමිකම් කොමිසම එම තීරණයට එළඹියේය.
කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මාහාචාර්ය අතුල රණසිංහ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය අනෝමා අබේරත්න, රුහුණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි සහ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ මානව හිමිකම් කොමිසමේ පෙනී සිටි අතර විභාග කොමසාරින් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්ප කුමාර මහතා පැමිණ සිටියේ නැත.
කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, එහි නීති ලේකම් නිමල් පුංචිහේවා සහ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහත්වරු පැමිණිල්ල විභාග කළහ.
විභාග ගැටළුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කර දීර්ඝ කාලයක් ගත වී ඇති බවත්, තව සතියකින් ප්‍රතිඵල ලැබෙන නිසා ඊට පෙර තීරණයක් ගත යුතු බවත් පැමිණිලි පාර්ශ්වය කීවේය.
ඒ අනුව අදාළ කමිටුව පත් කිරීමට තීරණය විය.



