
(දසුන් රාජපක්ෂ)
යහපාලන ආණ්ඩුව සමයේ තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද(25) පැමිණිලි කළේය.
එම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව සමයේ පත්කළ දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයන් වූ රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සහ ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරු වගඋත්තරකරුවෝ ලෙස නම්කර සිටිති.
අද මෙම ජනාධිපති කොමිසම හමුවේ එම පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදුන් නීල් බණ්ඩාර හපුහින්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පොදු දේපළ පණත යටතේ නඩු දෙකක් පැවරූ බව සඳහන් කළේය.
එම පැමිණිලි දෙක විභාග කර, තමා නිදොස් කොට නිදහස් කළ බවද, හපුහින්න මහතා පැවසීය.
එම නඩු තීන්දුවලට අනුව, තමා වරදක් කර නැති නිසා මූල්‍ය අපරාධ කොට්ඨාසය තමාගෙන් දේශපාලනිකව පළිගැනීම පිණිස අසත්‍ය කරුණු ඉදිරිපත් කර නඩු පවරා රිමාන්ඩ් බාරයේ තැබීමට උත්සාහ කළ බවද ඒ මහතා කියාසිටියේය.
ලිට්රො ගෑස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ එම සමාගමට අයත් රුපියල් මිලියන 500ක් පොදු දේපළ පනත උල්ලංඝනය කර කැන්ඩිල් හෝල්ඩින්ස් රාජ්‍ය සමාගම වෙත ලබා දී ඇති බව සඳහන් කර මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 ජූලි 17 දින තමන්ට එරෙහිව නඩු පවරා තිබූ බව නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

