දේශපාලනඥයින්ගෙන් බලපෑම් ඇතැයි අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරීහු කියති


(එම්.සුසිල් ප්‍රියන්ත)
 
අම්බලන්ගොඩ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් රාජ්‍ය සේවකයින්ට වන බලපෑම්වලට විරෝධය පා අද (22) දහවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු සේවකයෝ එම කාර්යාලය ඉදිරිපිට සිට උද්ඝෝෂණයක නිරතවූහ.
 
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ග්‍රාම නිලධාරී සංගමය විසින් මෙය සංවිධානය කරන ලදී.
         
අම්බලන්ගොඩ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥ‍යින් ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට යම් යම් කාරණාවලදී තමන්ට ඉටු කළ නොහැකි රාජකාරී කර දෙන ලෙස බලපෑම් කරන බවත්, ඒවා ඉටුනොවූ තැනදී ඔවුන් සිය ආත්ම ගරුත්වය කෙලෙසෙන සේ කටයුතු කරන බවත් මේ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස පැවසූහ.
 
සිය බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් ලෙස සුදුසුකම් සපුරා නැති පවුල්වලට  අඩු ආදායම්ලාභීන් ලෙස තහවුරු කර දෙන ලෙස කරන ලද බලපෑම පෙන්වාදිය හැකි බවද ඔවුහු පවසූහ.
        
අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරීන් සියලුදෙනාම කෑම පැයේදී මේ උද්ඝෝෂණයට බැසීමත් සමගම අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අනෙක් අංශවල සේවකයෝ ද ය රාජකාරීවලින් බැහැරව මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.