දේශපාලන ලැයිස්තුවට එරෙහිව ලබන 26 යළිත් ගුරු විදුහල්පති වර්ජනයක්


(තරිඳු ජයවර්ධන සහ නිමල කොඩිතුවක්කු)
 
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම් ලැයිස්තු අහෝසි නොකළොත් යළිත් වරත් ලබන 26 වැනි දා ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක් සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවසීය.
 
ගුරු විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිති 18ක නියෝජිතයන් අද කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට සහභාගී වෙමින් ස්ටාලින් මහතා ඒ බව පැවසීය.
 
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඩිප්ලෝමා හා උපාධි නැති නිලධාරීන් අධ්‍යාපනයට බඳවා ගත නොහැකි බව  අගමැතිවරයා කියා තිබුණද උසස් පෙළවත් සමත් නොවූ පිරිසකට ක්‍රීඩා උපදේශක පත්වීම් ලබා දීමට මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සම්පූර්ණ කර ඇති බව ද ස්ටාලින් මහතා කීවේය. 
 
අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ නතර නොකළොත් ලබන මාසයේ දැඩි තීරණයක් ගන්නා බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.