
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. එසේ දේශපාලන පත්වීම් ලබා තානාපති කාර්යාලවල සේවය සඳහා ගොස් ඇති සියලු දෙනා ආපසු ගෙන්වන බවත්, සුදුසුකම් ලබා මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොරොත්තු ලේඛනයේ සිටින නිලධාරින් එම පත්වීම් සඳහා යැවීමට කටයුතු කරන බව ද ජයරත්න මහතා කීය.
මේ වනවිට පොරොත්තු ලේඛනයේ සිටින්නේ තානාපති කාර්යාලවල සේවය සඳහා පුහුණු කළ නිලධාරින් බවත් ඔවුන්ගේ නාමලේඛනය මේ වනවිට ජනාධිපතිවරයාගේ නිර්දේශ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
දැනටමත් තානාපති කාර්යාලවල සේවය කරන කම්කරු සුභ සාධක නිලධාරින් අතර අතිරික්ත නිලධාරින් සිටින බව කී ඔහු සමහර කාර්යාලවල අවශ්‍යතාවය එක් අයෙක් වුවද දෙතුන් දෙනා සිටින බව ද එවැනි අතිරික්ත නිලධාරින් ගෙන්වීම ඉක්මණින්ම කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
මෙසේ අනවශ්‍ය පරිදි නිලධාරින් විදේශ සේවයට යැවීමෙන් කාර්යංශයේ මුදල් නාස්ති වන්නේ යැයි කී ජයරත්න මහතා ජනතා මුදල්වලින්, විශේෂයෙන් විදේශ ගත ශ්‍රමිකයන්ගේ මුදලින් නඩත්තු වන ආයතනයක එසේ මුදල් නාස්ති කිරීම අපරාධයක් වන්නේ යැයි ද කීය.
මේ වනවිට කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින හා මැදපෙරදිග ඇතුළු රටවල් 16 ක ස්ථාන 17 ක කාර්යංශයේ නිලධාරීහු 120 කට ආසන්න පිරිසක් විදේශ සේවයේ යෙදෙමින් සිටිති.

