ශ්‍රී ලංකා දණ්ඩ නිති නීති සංග්‍රහ යටතේ හෝ මෙරට පවත්නා වෙනත් කිසියම් නීතියක් යටතේ දඬුවම් ලැබූ සිරකරුවන් හෝ සැකකරුවන් අතරින් දේශපාලන චෝදනා මත සිරගත කර ඇති හෝ රඳවා ඇති කිසිවකු මේ වන විට බන්ධනාගාර තුළ නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුයේ, අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ රාසමාණික්‍යමි ආර්. සාණක්කියන් මහතා විසින් මෙරට සිරගත කරසිටින දේශපාලන සිරකරුවන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ දී ය.
තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යමි මහතාට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා දිවයින පුරා දිස්ත්‍රික්ක අනුව ආරක්ෂක හමුදාව විසින් රඳවාගෙන තිබෙන ඉඩම් පිළිබඳව ඔහු විමසා තිබෙන ප්‍රශ්නය ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන බැවින් ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි බවද පැහැදිලි කර සිටියේය.
පසුව අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත මෙම පිළිතුරු ලබා දීමට එක් වූ අධිකරණ අමාත්‍යාංශ අලි සබ්‍රි මහතා, 2009 වසරේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව රජය විසින් සිරකරුවන් 12,843 ක් පුනරුත්ථාපනය කරන ලද අතර , ඔවුන් අතර ළමා සොල්දාදුවන් 600 ක්ද සිටි බවද නිපුණතා සංවර්ධනයෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා සමාජගත කර තිබෙන බව සඳහන් කළේය.
එනමුත්, දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමසමින් පවතින නඩු කටයුතු පමණක් ඉතා සීමිත සංඛ්‍යාවක් ඇති අතර ඒ නඩු කටයුතු ඉතා සංකීර්ණ බැවින් ඒ සඳහා කාලය ගතවූ බවද ඒ සියල්ලද ඉතා ඉක්මණින් විසඳීමට නීතිපතිවරයාගේ ද සහාය සහිතව උත්සාහ කරමින් සිටින බව අමාත්‍යවරයා මේ අවස්ථාවේදී සඳහන් කළේය.
ඉන්පසුව නැගී සිටි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කර සිටියේ රාසමාණික්‍යම් මහතා විමසූ උතුරු නැගෙනහිර ආරක්ෂක හමුදාවන්ගේ පාලනය යටතේ ඇති ඉඩම් ප්‍රමාණය 94 % ක් පමණ දැනටමත් අදාළ හිමිකරුවන්ට ලබා දී ඇති බවයි.

