(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
2010 ජනාධිපතිවරණ සමයේ සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙකු බව කියන පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව කුරුණෑගල මහාධිකරණයේ පනවා තිබූ නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පුද්ගලයින් 7 දෙනෙකුට වසර 6 බැගින් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලබා දෙන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (30) නියෝග කළාය.
සිරදඬුවමට අමතරව එක් චූදිතයෙකුට රුපියල් දසදහස බැගින් දඩ මුදල් නියම කළ විනිසුරුවරිය දඩය නොගෙවන්නේනම් තවත් මාස 6 ක සිර දඬුවමක්ද මියගිය අයගේ බිරිඳට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන ලෙසද චූදිතයින්ට නියම කර සිටියාය.
වන්දි මුදල නොගෙවන චූදිතයෙකු වෙතොත් තවත් මාස 6 ක සිරදඬුවම් ලබාදීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
වර්ෂ 2010 ක් වූ ජනවාරි මස 17 වන දින හෝ ඊට ආසන්න දිනකදී වාරියපොල පොලිස් වසමේ අඹකඩවර ප‍්‍රදේශයේදී එච්.එම් ධම්මික හේරත් යන ඝාතනය කිරීමේ වරද සිදුකළ බවත් දක්වමින් මෙම පිරිසට එරෙහිව අධිචෝදනා 3 ක් යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පවරා තිබිණි.
මරණකරු සහ තවත් පිරිසක් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී තවත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකින් පසුව මෙම ඝාතනය සිදුවී ඇති බවට වාරියපොල පොලිසියට තොරතුරු ලැබී තිබිණ.

