දේශපාලකයෙක් මරණ තර්ජන කළැයි ගම්පොල පශු වෛද්‍ය කාර්යාලය වසයි


(සුරංග රාජපක්ෂ)

ගම්පොල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු ගම්පොල රජයේ පශු වෛද්‍ය කාර්යාල ඉඩමේ කොටසක් අත්පත් කරගැනීමට දරන උත්සාහයට විරුද්ධ වූ එම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට එම දේශපාලනඥයා ඇතුළු පිරිසක් පැමිණ මරණ තර්ජන කළේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඊයේ සිට එම කාර්යාලය වසා දැමීමට ස්ථාන භාර පශු වෛද්‍යවරිය පියවර ගෙන ඇත.

මෙම දේශපාලනඥයා සහ ඔහුගේ දියණිය ප‍්‍රජා ශාලාවක් ඉදිකිරීමට මෙම ඉඩමේ කොටස අවශ්‍ය බව පවසා දීර්ඝකාලයක සිට ආරවුල් ඇති කරගෙන තිබෙන බව මේ පිළිඳව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය කියයි.

මෙම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍ය කමනි දේදුනුපිටිය මහත්මිය පවසන්නේ මෙම ඉඩමේ අයිතිය පළාත් අධ්‍යක්ෂ යටතේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවට හිමි බවය.

ඒ අනුව නගර සභාවේ අනුමත සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ වියදමින් පැති බැම්මක් ඉදිකිරීමට කටයුතුකරමින් සිටියදී මෙම දේශපාලනඥයා 20 ක පමණ කණ්ඩායමක් සමග පැමිණ කොන්ත‍්‍රාත්කරුට බැණවැදීමෙන් අනතුරුව තමා ඇතුළු කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කළ බවත් තමාට පිහියෙන් අනින බව කළ ප‍්‍රකාශය පටිගත වී ඇති බවත් වෛද්‍යවරිය පැවසුවාය.

මේ තත්ත්වය යටතේ තමන්ට මේ ස්ථානයේ රාජකාරි කළ නොහැකි බව පවසා කාර්යාලය වසා දමා පශු වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය පළාත් කාර්යාලයට අනුයුක්ත වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෛද්‍ය ප‍්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේ, මෙම දේශපාලනඥයාගේ තර්ජන සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිසි පියවරක් නොගැනීම නිසා එය මරණ තර්ජන දක්වා දුරදිග ගොස් ඇති බවය.

පශු වෛද්‍ය කාර්යාලයේ සේවය අහිමිවීම නිසා ගම්පොල පශු වෛද්‍ය කොට්ඨාසයේ ගොවීන්ට මේ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත්, පශු වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කරන පිරිස අත්අඩංගුවට නොගන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සංගමයට සිදුවන බවත් ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ගම්පොල හිටපු නාගරික මන්ත‍්‍රී චන්ද්‍රලාල් සිල්වා මහතාගෙන් විමසීමේ දී ඔහු සඳහන් කළේ නගර සභාව සතු මෙම ඉඩමේ කොටසක ගම වෙනුවෙන් ප‍්‍රජා ශාලාවක් ඉදිකිරීමට ගිය ද පශු වෛද්‍ය නිලධාරිනිය ඊට විරුද්ධ වන බවය.