දේවස්ථාන පිවිසුමේ දී පිහි දෙකක් එක්ක හිටපු කොටියා මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු පිහි දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකළපුව කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කන්දසාමි වේදනායගම් නමැත්තකු බව පොලිසිය කියයි.

එක් පිහියක් සැකකරුගේ කලිසම් සාක්කුවේද අනෙක් පිහිය ඔහු සතු ගමන් බෑගයේ ද සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

පාස්කු දේව මෙහෙයට පැමිණ සිටි පිරිසකට ඇතිවූ සැකයක් මත මොහු ගැන රාජකාරියේ නිරතව සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරියකුට දැනුම් දීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයකු බවට තොරතුරු හෙළි කරන ලදැයි පොලිසිය සඳහන් කරයි.