දෙහිවල සත්තු වත්ත ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි


 

 

(තිළිණි ද සිල්වා)

දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව වාර්තාවක් තමාට ඉදිරිපත් කරන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට අද (19) උපදෙස් දුන්නේය.

එම සත්වෝද්‍යානය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ද ලබා දිය යුතු බැවින් එය කඩිනමින් තමාට ලබා දෙන්නැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට  දැනුම් දී ඇත.

ඊට අමතරව ඉදිරි අයවැයට යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඇමැතිවරයා අමාත්‍යාශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමැතිවරවයා මේ බව සදහන් කළේය.

දෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත්ව ඇති යෝජනාව කෙරෙහිද මෙම සාකච්ඡාවේදී  අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු වී ඇත.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බැවින් , සත්වෝද්‍යානය නවින ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍ය වන බවය. එසේ වුවද එම නව ක්‍රමවේදයක් සැකසීම සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී නිලධාරීන් හමුවේ කියා සිටියේය.

දෙහිවල සත්වොද්‍යානයේ සතුන්ගේ කෑම බීම හා වෙනත් අවශ්‍යතා සපුරාලීම සදහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් වැයවන බවත්, සේවක වැටුප් අතිකාල ගෙවිම් සදහා රුපියල් මිලියන 6 ක මුදලක් වැයවන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ බව සංචාරක අමාත්‍යාශය කියා සිටී.