දෙවැනි පාසල් වාරය තවත් සතියකින් ප්‍රමාද කරන්න


( චමිල් රූපසිංහ)
 
රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවන පාසැල් වාරය ආරම්භ කිරීම තවත් සතියකින් ප්‍රමණ ප්‍රමාද කිරීම කාලෝචිත බවත්  නිසි පරිදි ආරක්ෂාව තහවුරුවූ පසු සියලු පාසැල් එකම දිනක ආරම්භ කිරීම වඩා සුදුසු බවත් ජනපති, අගමැති ප්‍රමුඛ වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
 
 ‘සිංහලේ අපි සංවිධානයේ‘  හා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ සාමාජික පිරිසක් අද  (05) මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ  මහනාහිමියෝ මේබව පැවසූ අතර අස්ගිරි මහනාහිමියෝ විශේෂ මාධ්‍යය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළහ.
 
 මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනපති.අගමැති,කැබිනට් මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය එක්ව සාකච්ඡා කර රටේ ආරක්ෂාව සම්බන්ධව ජනතාවට නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවත් රටේ ආරක්ෂාව නිශ්චිතව තහවුරු වන තුරු  පාසැල් විවෘත කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බව පැවසූහ.
 
 අස්ගිරි පාර්ශවයේ මහනායක  වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ප්‍රකාසයක් කරමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකීමේදී පාසැල් විවෘත කිරීමට උචිත තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව ත් පාසැල් වලින් කොටසක් විවෘත කර තවත් කොටසක් වසා තැබීම තුළින් ගම්‍ය වන්නේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් පවතින බව යැයිද ආරක්ෂාව නිශ්චිතව තහවුරුවූ පසු සියලු පාසැල් එකවර විවෘත කිරීම වඩා යෝග්‍යය බවද පැවසූහ.
 
 දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද දෙවන පාසැල් වාරය හෙට (06) දින ආරම්භ කිරීම සම්බන්ධව පැහැදීමක් නොමැති බවත් මේ සම්බන්ධව රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බවද  අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියනු  ප්‍රකාශ කළහ.