දෙවැනි දිනටත් තන්තිරිමලේ රජමහා විහාරය ඒකාලෝක වෙයි


හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (28) දෙවැනි දිනටත් ඒකාලෝක විය.

ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය , සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් පී.නිව්ටන් සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන යන මහත්වරු  ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ දෙවැනි දිනයටත් තන්තිරිමලේ පූජා භූමිය ආලෝකමත් කරමින් විදුලි බුබුළු දැල්වූහ.

ඓතිහාසික තන්තිරිමලේ විහාර පරිශ්‍රය විදුලි බුබුළු 40,000 කට අධික සංඛ්‍යාවක ආලෝකයෙන් දිදුලන විට සැදැහැ සිතින් සිව්දෙසින් එහි පැමිණ සිටි බොදු බැතිමතුන්ගේ සාධු නාදයෙන් මුළු පෙදෙසම පිරී ඉතිරි ගියේය.

ආලෝක පූජාව ආරම්භ කිරීමට පෙරාතුව මාගල්ලේගම රතනජෝති හිමියන් රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටවූහ. ඉන් අනතුරුව පේමාඩුව පුරාණ රජමහ විහාරයේ විහාරාධිපති පේමාඩුව සුමංගල හිමියන් විසින් අනුශාසනා දේශනයක් කරනු ලැබිණි.

ඉන් අනතුරුව ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා අදහස් දැක්වූහ.

එම අදහස් දැක්වීම්වලින් අනතුරුව තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්‍යාලයේ සෝමානන්ද හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ 15 දෙනකුට ‘දහම් පාසල් නිල ඇඳුම්’ බාරදීම සිදු කෙරුණි.

උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමි සහ ඉන්දියාවේ මහබෝධි සමාගමේ මහලේකම් පැලවත්තේ සීවලී හිමි ඇතුළු මහ සංඝරත්නය, ඉන්දීය මහබෝධි සමාගමේ දූත පිරිස, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්. තිලකරත්න, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කර්තෘ සිංහ රත්නතුංග ,   විජය පුවත්පත් සමාගමේ මානව සම්පත් කළමනාකරු තිස්ස කහඳවආරච්චි, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල,  කළමනාකරු (විදුලි) ජගත් පෙරේරා යන මහත්වරු, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම පුණ්‍ය කර්මයට එක්ව සිටියහ.

ඡායාරූප - ශාන්ත රත්නායක