එෆ්.අස්ලම්
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙනයනු ලබන උත්සහායට එම සන්ධානයේ හවුල්කාර පක්ෂ විරෝධය මතුකර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විග්නේෂ්වරන් මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂකත්වයට ඉදිරිපත් නොකිරීමට මෙන්ම ඔහු පක්ෂයෙන් නෙරපීමටද කටයුතු කර සිටින බව ප්ලොට් හා ටෙලෝ පක්ෂ චෝදනා කරයි.
මීට අමතරව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ෆෙඩරල් අවශ්‍ය නැති බවට ගාල්ලේදී සිදුකරන ලද ප්‍රකාශයත් විග්නේෂ්වරන් නුසුදුස්සෙකු බවට කරන ලද ප්‍රකාශයත් ෆෙඩරල් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දැනුමකින් තොරව කතා කරන බවට කරන ලද ප්‍රකාශයත් දෙමළ ජාතික සන්ධානය තුළ කැලඹීමක් ඇතිකරන්නට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග ලංකාදීපයට සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයෙන් විග්නේෂ්වරන් ඉවත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයට දේශපාලන වශයෙන් දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් , විග්නේෂ්වරන්ගේ ජනප්‍රසාදය දෙමළ ජාතික සන්ධානයට එරෙහි දේශපාලන පක්ෂ සිය දේශපාලන වාසියට හරවා ගනු ඇති බවත් , එවන් අවස්ථාවක් පැමිණියහොත් දෙමළ ජාතික සන්ධානයට දේශපාලන වශයෙන් විශාල අභියෝගයක් ඉදිරි මැතිවරණවලදී එල්ල වනු ඇති බවත් ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
විග්නේෂ්වරන් සන්ධානයෙන් ඉවත් කිරීමට ගෙන යන උත්සහාය පිළිබද එහි අවධානම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය පුළුල්ව කල්පනා කළ යුතු යැයි ටෙලෝ සංවිධානයද අවධාරණය කර සිටීයි.
මේ අතර පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් විග්නේෂ්වරන් මහතාද වෙනම දේශපාලන බලවේගයකින් පැමිණෙන බවට ඉඟි පලකළ අතර ඊට පිළිතුරු වශයෙන් සුමන්තිරන් මහතාද මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයේ සිටීමට තරම් සුදුස්සෙකු නොවන බවයි.
එමෙන්ම තමන් ෆෙඩරල් විසදුමක් අනවශ්‍ය යැයි නොකියු බවත් ෆෙඩරල් යන නාමය ඉවත් කරමින් පූර්ණ බලතල බෙදීමකට යායුතු බවට තමන් අවධාරණය කළ බවත් සුමන්තිරන් මහතා එම මාධ්‍ය හමුවේදීම කියා සිටියේය.
මෙවන් අර්බුදකාරී දේශපාලන වාතාවරණයක් මැද දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හා විග්නේෂ්වරන් අතර හමුවක්ද ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇතැයි එම සන්ධානයේ ආරංචිමාර්ග සඳහන් කර සිටීයි.

