( තිළිණි ද සිල්වා )
යුද්ධය අවසන් වී වසර නවයක් ගත වුවද දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු විසඳුමක් ලබා දී නැතැයි දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතවරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම යුද්ධය පැවති කාලයේ දී හා ඉන් පසුව අතුරුදන්වූවන්ගේ රහස් වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද ඇය සදහන් කර ඇත.
මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් තමන් මැදිහත්වී කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළද එය මෙතක් ඉටුවී නැතැයිද එබැවින් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මැදිහත් විය යුතු බව ද දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටි එම නියෝජිතවරිය ප්‍රකාශ කර තිබේ.
මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි සම සභාපති රොෂාන් වීරපුරගේ මහතා සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදින් සියලු ජනකොටස්වල අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.
යුද්ධයෙන් පසු අවතැන්වුවන් යළි පදිංචිකරවීම, බිම්බෝම්බ ඉවත් කිරීම ඇතුළු රජය විසින් ඉටුකළ කාරණා පිළිබඳව එහිදී ඔහු පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සම්බාධක පැනවීම හෝ රෙගුලාසි පැනවීමෙන් වළකින ලෙසද රොෂාන් වීරපුර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.
දෙමළ ඩයස්පෝරාව මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන ගතු කියයි
Recommended Articles