දෙමළ ජාතික සන්ධානය නිදහස් උළෙලට එන්න බෑ කියයි


(සිරාජ් හසීම්)

70 වන ජාතික නිදහස් දින  රාජ්‍ය උත්සවය සදහා තමා සහභාගී නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා උත්සවයේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික  සන්ධානයේ ප්‍රචාරක රැළි පැවතීමත් ඒ වෙනුවෙන් කාලය වෙන්කර තිබීමත් නිසා මෙම උත්සවයට සහභාගී විය නොහැකි බව මෙහිදී දැනුම්දී තිබේ.

මැතිවරණය හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන  කිසිදු මන්ත්‍රීවරයෙකු නිදහස් උත්සවය සදහා සහභාගී නොවෙනු ඇතැයි  එම සන්ධානයේ  නියෝජිතයින්  සදහන් කර සිටියි.

කෙසේ වෙතත් ශ්‍රිලංකාව යටත් විජිතභාවයෙන් නිදහස් වී 70වසරක් ගියද ඉන් දෙමළ ජනතාවගේ නිදහස තහවුරු වී නැතැයි කියමින් පෙබරවාරි 4වනද කළු කොඩි ඔසවා විරෝධය පලකරන ලෙසට මෙම සන්ධානයේ දේශපාලකයින් පිරිසක් උතුරේ ජනතාව වෙත දැනුම් දී ඇති බවද පැවසේ.


මේ අතර මහ බැංකු බැදුම්කර වංචා සිද්ධියට වාර්තාව අදාල පාර්ලිමේන්තු විවාදයටද  දෙමළ ජාතික සන්ධානය හා දෙමළ  ප්‍රගතශීලී සන්ධානය ද සහභාගී නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දැනුම් දී ඇත.