
(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානයේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර සදහා එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හවුල්කාර පක්ෂ නායකයින් වන සෙල්වම් අඩයිකලනාදන්ගේ සහ ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ නම් යෝජනා වී ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති විවේචන සහ නව පාර්ලිමේන්තුවේ දී එම ධූරය හවුල්කාර පක්ෂයකට හිමිවිය යුතු යැයි දරණ ස්ථාවරය මත මෙම යෝජනා ඉදිරිපත් වී තිබිණි.
පසුගියදා (16) ත්‍රීකුණාමලයේ දී රැස්වූ ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ දී ද මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබුණු අතර එම තීරණය වූයේ දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක ධූරය ටෙලෝ සංවිධානයට ලබාගත යුතු බවය. ඒ අනුව ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩයිකලනාදන්ගේ නාමය ඊට යෝජනා කර තිබුණි.
එමෙන්ම ප්ලොට් සංවිධානයේ ද අදහස වී ඇත්තේ අභිනව පාර්ලිමේන්තුවට දෙමළ ජාතික සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීන් අතරින් නවකයින් වැඩි හෙයින් නව පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම සුදුසු බවය.
එමෙන්ම දෙමළ ජාතික සන්ධනයේ මාධ්‍ය ප්‍රකාශක ධූරය මේ අවස්ථාවේදී ප්ලොට් හෝ ටෙලෝ පක්ෂයේ මන්ත්‍රීවරයකුට ලබා දිය යුතුය යන ස්ථාවරයේ එම සංවිධාන ද්විත්වයම පසුවේ.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයම නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම මෙ මස අග දිනයක කොළඹ දී රැස්ව මේ පිළිබඳ තීරණයකට එළැඹෙන බව එම සන්ධානයේ පක්ෂ නායකයකු පැවසීය.

