දෙමළ ජනතාව වෙනුවෙන් පොදු ලකුණක්


(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසි සේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය නොකරන බවටත් සියලු දේශපාලන කටයුතු වලදී සංසදයක් ලෙස ඊට මැදිහත් වන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය.

ඉදිරි මැතිවරණයන් වලදී දෙමළ ජනතා සංසදය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ කීය. 

දෙමළ ජනතා සංසදය ඇතිකර ගත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට. මේ සංසදය පක්ෂයක් වශයෙන් මැතිවරණයකට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ. සංසදය තුළ දෙමළ ජාතික සන්ධානයේ එක් එක් පක්ෂවල ක්‍රියාකාරීනුත් ඉන්නවා පක්ෂයක් වශයෙන් මැතවරණවලට ඉදිරිපත් නොවුණත් ඉදිරියේදී ඇතිවන දේශපාලන කටයුතු වලදී මැදිහත් වී කටයුතු කරන්න අපි තීරණය කරලා තියනවා යනුවෙනි.

‘රජය විසින් ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවෙන් දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් බොඳවෙලා යන විදිහේ එකක්. ඒ නිසා අපි අතුරු වාර්තාවට විරෝධය පළ කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය අද වෙනකම් දෙමළ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කරපු දෙයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී පැවත්වෙන පළාත් පාලන මැතිවරණයන් වෙනුවෙන් අපේ පක්ෂයත් දෙමළ ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් එක් වී පොදු ලකුණකින් තරග කරන්න බොහෝ දුරට ඉඩ තියනවා’ යැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කීවේය.