දෙමටගොට චමින්දගේ රියදුරු රඳවා ප්‍රශ්න කරන්න නියෝග


(කවිතා සුබසිංහ)

ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකුගේ රියදුරු වශයෙන් සේවය කළ බව කියන ‘කොන්ඩ රිස්වාන්‘ නැමැත්තා දින 7 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට මහර අංක 01 අධිකරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් පතිරණ අද (10) වැනි දා නියම කළේය.

මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නොහොත් කොන්ඩ රිස්වාන් නැමැති අයෙකු මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම කළේය.

කිරිබත්ගොඩ පොලිසිය කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට ඇති මාර්ගයේ දී හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට මොහුව අත්අඩංගුවට ගත් බවත් පසුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීම් වලදී මොහු ප්‍රබල පතාල කල්ලි සමාජිකයෙකු වන දෙමටගොට චමින්ද නැමැත්තාගේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පතාල හා අපරාධ කල්ලි සමාජිකයෙකු බවට අනාවරණය වූ බව කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මත මාකොළ දකුණ,මාකොළ ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන තිබූ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ අල්මාරියේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයා ගත් බවත් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

සැකකරු මෙම නිවසේ තම අනියම් බිරිඳ සමඟ පදිංචි ව සිට ඇති බවද පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

කිරිබත්ගොඩ පොලිසිය විසින් අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවෙකු ලබන 17 වැනි දා දක්වා දින 7 ක් රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දුන්නේය.

නඩුව නැවත 17 වැනි දා කැඳවීමට ද නියම කෙරිණ.