දෙනුවර මැණිකේ යළි බදුලු යයි


(මහින්ද නිස්සංක)

තාවකාලිකව නතර කරන ලද කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය හෙට (01) සිට යළි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙනුවර මැණිකේ දුම්රිය පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව පස්වරු 3.01 ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවන අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.00 ට පිටත්වන දුම්රිය පස්වරු 4.38 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය

අවුරුදු සමයේ ජනතාවට ගමන් බිමන් යෑම සඳහා හෙට සිට ලබන 18 වැනිදා දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර වායුසමීකරණ කරන ලද මැදිරි හතරකින් ද, දෙවැනි පන්තියේ වෙන්කළ ආසන මැදිරි තුනකින් ද, තුන්වැනි පංන්තියේ වෙන්කළ ආසන මැදියකින් ද, මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරෝනා වසගත තත්ත්වය මත මගීන් නොමැතිවීම හේතුවෙන් ඉකුත් ජනවාරි 27 වැනිදා දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නතර කෙරුණු බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යළි ධාවනය ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය සඳහා කලින් ආසන් වෙන්කිරීම ද දැන් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.