දෙගුණ වන මන්ත්‍රීමණ්ඩලයට සභාගැබ පුළුල් කරයි - වියදම ලක්‍ෂ 60 යි


(මනුල වික්‍රම)

දෙගුණයකට ඉහළ යන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් අනුරාධපුර මහ නගර සභාවේ සභා ගර්භය කඩා විශාල කිරිමට පියවර ගෙන ඇත. මෙතෙක් එම සභාවේ නගරාධිපතිවරයා ඇතුළුව සිටි සභික සංඛ්‍යාව 13කි. නව ඡන්ද ක්‍රමයට අනුව ලබන මාසයේ දී පත්වන සභාවේ  සභික සංඛ්‍යාව 25ක් වේ.

ඔවුන් සඳහා රැස්වීමට ඉඩ මදිවීම හේතුවෙන් සභා ගර්භයත් මන්ත්‍රීවරුන්ගේ පොදු කාමරයත් දෙකම මේ වන විට කඩා පුළුල් කරමින් පවතින බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ හැටක් පමණ වැය  වන බවත් නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවැසීය. 

මන්ත්‍රී මණ්ඩලයක් නොමැතිව ගත වූ  වසර එකහමාරක පමණ කාලයේ සභාව ක්‍රියාත්මක වූ අන්දම පිළිබඳව මාධ්‍යවේදින් හා කොමසාරිස්වරයාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසීය.

මන්ත්‍රීවරුන් 25 දෙනෙක්ගෙන් සැදුම් ලත් සභාවක් ලබන මාසය වන විට රැස්වෙනවා. දැනට ඇති ඉඩ කඩ ඒ සඳහා ප්‍රමාණවත් මදි. සභා ශාලාවට පිටින් තිබූ අමතර ඉඩ යොදාගෙන එම කොටස පුළුල් කරනවා. ඒ සමගම මන්ත්‍රිවරුන්ගේ කාමරයත් ලොකු කරන්න පියවර ගත්තා. ඒ අනුව නියෝජ්‍ය නගරාධිපති, නියෝජ්‍ය කොමසාරිස් හා පරිපාලන නිලධාරි කාමර එකිනෙකට වෙනස් වෙනවා.

මේ සඳහා ඉදිකිරීම්, මේස, පුටු, ශබ්ද විකාශන හා පටිගත කිරිම් පද්ධතිය ඇතුළු හැමදේම වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටක් පමණ යනවා. ඒ මුදල් මධ්‍යම ආණ්ඩුවේ අයවැය ලේඛනයෙන් වෙන් වෙලා තිබෙන්නේ. ලබන 10 වැනි දා වෙද්දී වැඩ නිම කරන්න අවශ්‍ය නිසා එම මුදල් ලැබෙන තුරු අපි පුළුල් කිරීම් සිදු කරනවා යැයි පැවසීය.