(නිමල කොඩිතුවක්කු)
යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පැමිණි වත්මන් රජය හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිවන නිලධාරීන්ට දඬුවම් පමුණුවන තත්ත්වයට පත්ව ඇතැයි තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසයි.
එවැනි නිලධාරීන්ට දඬුවම් ලබාදෙනවා වෙනුවට දූෂිතයන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද එම සංසදය රජයෙන් ඉල්ලීමක් කරයි.
තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ අද(06) මාධ්‍ය හමුවක් කැඳවමින් තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
“ඉන්දු- ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ලාංකීය ගම්මිරිස් වසරකට ටොන් 2500ක් බදු නොමැතිව ඉන්දියාවට අපනයනය කළ හැකියි. එම වෙළඳ ගිවිසුම් යටතේ බදු සහන ඇතිව වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර, ඒවා ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට ව්‍යාජ සහතිකයක් ලබාගෙන, ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු කලක පටන් නිරත වනවා.
මේ ජාවාරම ඉතා දැඩිව ක්‍රියාත්මකවූ 2018 වසරේ මාස 8 ක් තුළ ගම්මිරිස් බහාලුම් 134 ක ටොන් 2800 ක ප්‍රමාණයක් වියට්නාමයෙන් ගෙන්වා, ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස බදු සහන සහිතව ව්‍යාජ ලෙස ඉන්දියාව ඇතුළු රටවලට අපනයනය කර තිබේ.
මේ ජාවාරම නිසා ලංකාවේ දේශීය ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1800 සිට රුපියල් 600 දක්වා පහත වැටීමෙන් දේශීය ගම්මිරිස් වගාකරුවන් දැඩි ආර්ථික අපහසුතාවයකට ලක්වී තිබේ. මෙමගින් ලංකාවට අහිමි වූ ආදායම රුපියල් මිලියන 1800කට ආසන්නයි.
මෙම ගම්මිරිස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට සහතික කරනු ලබන්නේ අමාත්‍ය රිෂාද් බදියුදීන් යටතේම පැවති වාණිජ දපාර්තුමේන්තුවේ නිලධාරියෙකු විසිනුයි. මෑතකදී සිදුකළ නව කැබිනට් මණ්ඩල ගැසට් කිරීමේදී එම දෙපාර්තුමේන්තුව, සංවර්ධන උපායමාර්ග සහ ජාත්යන්තර වෙළඳාම අමාත්‍යංශය යටතට ගැසට් කර ඇති අතර, දේශපාලන රැකවරණ ඇතිව මේ ව්‍යාජ සහතික ලබාදෙන නිලධාරියා තවදුරටත් ව්‍යාජ සහතික නිකුත් කරමින් සිටියි.
එසේම දේශපාලන රැකවරණ ඇති එක් රේගු නිලධාරියකුද, බහුතරයක් රේගු නිලධාරීන්ගේ විරෝධය නොතකා, මෙම ජාවාරම් සඳහා පහසුකම් සපයමින් සිටිනවා. මේ කොල්ලකෑමට උදවු කරන්නට ආරක්ෂා කරමින්, හොරකමට එරෙහි වන නිලධාරීන්ට දඬුවම් කරමින්, ඔවුන් මාරු කර යවා සිය කොල්ලකාරී ක්‍රමය දිගටම පවත්වාගෙනයාම දූෂිත අමාත්‍යවරුන්ගේ අරමුණයි.