දූෂණය පිටුදැකීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් නැතිලු


දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා නැතැයි ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය සඳහන් කරයි.
 
ජාත්‍යන්තර දූෂණ පිටු දැකීමේ දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරකින් ඉදිරියට ගියත් දර්ශකයේ ලකුණු ලැබීම අතින් ශ්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අඩු ප්‍රගතියක් යැයි ද එම ආයතනය කියයි.
 
ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සංවිධානය වාර්ෂිකව සිදු කරන දූෂණය පිටු දැකීමේ ශ්‍රේණිගත කිරීම් දැක්වෙන “දූෂණ සංජානන දර්ශකය 2017” ට අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් 91 වැනි ස්ථානයට පත්ව ඇත. පෙර වසරේදී ලකුණු 36ක් ලබගනිමින් ශ්‍රී ලංකාව එම දර්ශකයේ 95 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකාව මෙවර ස්ථාන 4කින් ඉදිරියට ගත් ලබාගැනීමට හැකිව තිබෙන්නේ ලකුණු 38ක් පමණි. ලකුණු 2කින් වැඩි වීම සාධනීය තත්ත්වයක් නොවන බවත් ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටන වර්ධනය වන්නේ අඩු වේගයකින් යැයි ද ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය පෙන්වා දෙයි. 
 
ශ්‍රී ලංකාව 2014 වසරේදී ලබාගෙන ඇත්තේ ලකුණු 38ක් බවත් එම නිසා මෙය සැලකිය යුතු කරුණක් බවත් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය කියයි. 
 
“වසර 2012 සිට 2017 දක්වා කාලයේදී දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සහ ස්ථාන සමීපව නිරීක්ෂණය කළ යුතුයි. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දූෂණය පිටු දැකීම සඳහා ආයතන ශක්තිමත් කිරීමට නීති රීති ගෙන ආවද ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවක් දක්නට තිබෙනවා. එය දූෂණය පිට දැකීමට එරෙහි සටන අඩපණ කර තිබෙනවා. ශ්‍රී ලංකාව අඩු ලකුණු මට්ටමක් ලබාගැනීමට හේතුව ලෙසත් එය පෙන්වා දෙන්න පුළුවන්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනයේ අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා කීය. 

(055)