දුෂණ සංජානන දර්ශකයට අනුව ලංකාව 89 වැනි තැනට


(නිමල කොඩිතුවක්කු)

ට‍්‍රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලද දුෂණ සංජානන දර්ශකයට අනුව 2018 වසර සදහා රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව ලකුණු 38ක අගයක් හිමි කරගනිමින් 89 වැනි ස්ථානයට පත්ව තිබේ.

දුෂණ  සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින්ම දුෂිත සිට 100 ඉතා පිරිසිදු යන ආකාරයට අගයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරනු ලබයි.

ඒ අනුව මෙම දර්ශකයේ ප‍්‍රථම හා දෙවන ස්ථානයට ලකුණු 88ක් හා 87ක් ලබා ගත්  ඩෙන්මාකය සහ නවසීලන්තය රැදී සිටීන අතර එහි දුෂිතම රට බවට ලකුණු 10ක් හිමිකරගෙන ඇති සෝමාලියාව පත්ව ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආරථිකය, දේශපාලනය ආදී විශේෂඥ ඇගයිම් 13ක් යොදාගෙන මෙම දර්ශකය සකස් කර ඇතැයි ට‍්‍රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා කොළඹදී අද(29) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එමෙන්ම 2013 වසරේ සිට 36 සහ 38 යන අගයන් අතර ඉහළ පහළ යමින් මෙම දර්ශකයේ  ශ්‍රී ලංකාව එකම ස්ථානයක රැදී සිටින බවද ඔහු සඳහන් කළේය.

දකුණු ආසියාතික රටවල් අතරින් 03 ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර 25 වැනි හා 78 වැනි  ස්ථානවල පසුවන භූතානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවෙයි.

ට‍්‍රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලද දුෂණ සංජානන දර්ශකය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එහි විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා වැඩිදුරටත් මෙසේද කීය.

  ‘‘ දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දුෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ද පැහැදිළි ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකාව අසමත් වී තිබෙනවා.
රජය විසින් පොරොන්දු  ප‍්‍රකාර ලෙස දුෂණයට එරෙහිව සටන් වදින බව පවසමින් ලබා ගත් ජන වරමට සහ බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කරන ලද දුෂණ විරෝධී ප‍්‍රතිපත්ති වලට පටහැනිව ක‍්‍රියා කරන නිසා  ශ‍්‍රී ලංකාවේ දුෂණ විරෝධී යාන්ත‍්‍රනය එක තැන පල් වෙන තත්වයකට පත්ව තිබෙනවා.

දුෂණ සංජානන දර්ශකය හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දුෂණ බව වටහා ගැනීම අතිශයින් වැදගත්. ව්‍යවස්ථාවෙන් සම්පාදිත නීතිමය රාමුවට අනුව නිසි කලට සහ නිසි ආකාරයට දුෂණයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම,  රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව අද වන තුරුත් ප‍්‍රගතියක් අත් කර නොගැනීමට හේතු වී තිබෙනවා.

2019 වසරේ දී, ඉහළ පෙලේ දුෂණ නඩු කිහිපයක අවසාන නිගමන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. නමුත් ඒ සඳහා බලධාරීන් අපක්ෂපාතීව සහ ස්වාධීනව ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. නීතිය ක‍්‍රියාත්මක වීම තෝරාගත් පිරිසකට හෝ දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සිදුවන්නේ නම්, එය දුෂණ විරෝධී යාන්ත‍්‍රනයට සහ අධිකරණ පද්ධතියට දැඩි ලෙස හානිකර විය හැකිය.‘‘යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්තාව සඳහා ට‍්‍රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරීණී  ශෂි ද මෙල්,  වැඩසටහන් කළමණාකාරිනී මංගලා ශංකර් යන මහත්මීන් ඇතුලූ පිරිසක්ද එක් වූහ.